Thursday, March 29, 2018

දිරිය මිනිසුන්ට නැගී සිටින්නට අත්වැලක්වූ පිටිපන සමෘද්ධි ප්‍රජා මූල බැංකුවෙහි විසිවන ( 20 ) සංවත්සරය සැමරූ දා...

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිටිපන සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ විසි වන ( 20 ) සංවත්සර උත්සවය 2018.02.23 දින පිටිපන උත්තරාරාම විහාරස්ථ ශාලාවේදී හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් මාලිකා කරවිට මැතිනියගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. පිටිපන  සමෘද්ධි ප්‍රජා මූල බැංකුවට අයත් ග්‍රාම නිලධාරී වසම් 15 තුලින්ම තෝරා ගන්නා ලද හොදම කුඩා කණ්ඩායම, 2017 වසර තුල සාමාජික තැන්පතු, කොටස්, සාමාජික නොවන, ළමා, දිරිය මාතා, සමූහ, සිසුරක වැඩිම තැන්පතු ඇති තැන්පත්කරුවන් සදහා ත්‍යාග පිරිනැමීම ද සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන නියෝජනය කරන පාලක මණ්ඩල සභාපතිවරුන් ද වැඩිම අවුරුදු ගණුදෙනු, දුම්වැටි විරෝධී කොඩි අලෙවි වැඩසටහනින් වැඩිම ආදායමක් උපයන ලද නිලධාරීන්ද ඇගයීමට ලක්කල අතර ඔවුන්ට ද  සහතික පත් හා කුසලතා සම්මාන පිරිනමන ලදී.  
මෙම උත්සව අවස්ථාව, මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමණාකරු ඒ.ආර්. රූපසිංහ මහතා, සමාජ සංවර්ධන නිලධාරීන් වන කාන්තිකා හුලත්දූව මෙනවිය, චමිලා ජයතුංග මහත්මිය පිටිපන කලාපයට අයත් ග්‍රාම නිලධාරී වසම්හි දිවිනැගුම සංවර්ධන නිලධාරී මහත්ම මහත්මීන් මෙම උත්සව අවස්ථාවට එක්වූහ.
මෙදින ආරාධිත විශේෂ දේශනය පවත්වන ලද්දේ මීගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමණාකරු ඒ.ආර්. රූපසිංහ මහතා විසිනි. 
පිටිපන සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමණාකරු තිලකරත්න බණ්ඩා මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත කදනවත්ත ග්‍රාම නිලධාරී වසමේ දිවිනැගුම සංවර්ධන නිලධාරී රේණුකා දමයන්ති මහත්මිය ඇතුළු කදනවත්ත සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සාමාජික සාමාජිකාවන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබු අතර මෙම උත්සවය අලංකාර කරමින් නර්තනාංග ඉදිරිපත් කරන ලද්දේ කදනවත්ත සමෘද්ධි කැකුළු ළමා සමාජයේ දරු දැරියන් විසිනි.


















වාර්තා කිරීම   -  හෝමාගම සන්නිවේදක, චමිලා ජයතුංග මිය.

සකස් කිරීම     -  කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂනය      -  කොළඹ දිස්ත්‍රික් අධ්‍යක්ෂ, ඒ.ජී.එස්.අශෝක කුමාර මහතා.

Wednesday, March 28, 2018

“ ගමට අපි “ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ දා....

ශ්‍රී ලංකා යුනිලීවර් සමාගම හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව 2013 වර්ෂයේදී ග්‍රාමීය මට්ටමේ කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්විම සදහා ක්‍රියාත්මක වූයේ ‘ සෞභාග්‍යා‘ වැඩසටහනයි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ග්‍රාමීය මට්ටමින් සමෘද්ධි වැඩසටහන හා සම්බන්ධ වී සිටින කාන්තාවන් අතුරින් තෝරා ගන්නා ලද කාන්තා ව්‍යවසායිකාවන් හරහා යුනිලීවර් නිෂ්පාදන අලෙවි කර ඒ තුලින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම මෙහි අරමුණ විය.මෙම සෞභාග්‍යා වැඩසටහන තුලින් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනට අමතරව විවිධ සමාජ සත්කාරක සේවා වැඩසටහන් රාශියක්ද ක්‍රියාත්මක කරනු ලබයි.







එහි එක් පියවරක් ලෙස හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බ්‍රාහ්මණගම ග්‍රාම නිලධාරී වසමේ සෞභාග්‍යා ව්‍යවසායිකාව වන කේ.කේ.ඉන්ද්‍රානි මහත්මියගේ ඉල්ලීම පරිදි බ්‍රහ්මණගමට අඩුපාඩුවක්ව පැවති ගරා වැටුණු පොදු නාන ළිද ප්‍රතිසංස්කරණය කිරීම සෞභාග්‍යා වැඩසටහනේ “ගමට අපි“ ව්‍යාපෘතිය හරහා සිදුකෙරින.
මෙම නාන ළිද ප්‍රතිසංස්කරණය සදහා යුනිලීවර් සමාගමෙන් රු.50,000/= ක මුල්‍ය ආධාරයක් ලබාදුන් අතර ප්‍රදේශයේ ශ්‍රම දායකත්වය ඇතිව ළිදෙහි නිමි වටිනාකම රු.125,000/= ඉක්මවයි.











ප්‍රතිලාභීන් විශාල ප්‍රමාණයක් මෙම පොදු නාන ළිද පරිහරණය කරන අතර වැසි රහිත කාලවලදී ද බොහෝ පිරිසක් මෙම පොදු නාන ළිද පරිහරණය කරති.
මෙම ළිද ප්‍රතිසංස්කරණයෙන් පසු ජනතා අයිතියට පැවරීමේ උත්සවය 2018. 03.20 වන දින දීපංගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය දීපංගොඩ ධම්මික ස්වාමීන් වහන්සේ, යුනිලීවර් සමාගමේ බස්නාහිර පළාත් භාර ප්‍රධාන කළමණාකරු දීපාල් වික්‍රමසිංහ මහතා, සෞභාග්‍යා ව්‍යාපෘති කළමණාකරු සුමින්ද විතානආරච්චි මහතා, සෞභාග්‍යා බස්නාහිර පළාත් ව්‍යාපාර සංවර්ධන නිලධාරීන් වන නිලන්ත නුවන් කුමාර මහතා, තනුෂ්ක වීරසූරිය මහතා, ප්‍රාදේශීය කළමණාකරුවන් චමින්ද විජේගුණරත්න මහතා, ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් වන අරුණ කැළුම් මහතා, ඩික්සන් ගාමිණී මහතා, කීර්තිලතා කොතලාවල මහත්මිය, මත්තේගොඩ දිවිනැගුම කළමණාකරු සමන්ත ප්‍රේමසිරි මහතා, බ්‍රාහ්මණගම දිවිනැගුම සංවර්ධන නිලධාරී මහේෂ් ඉන්ද්‍රලාල් මහතා, සමාජ සංවර්ධන සහකාර චමිලා ජයතුංග මහත්මිය ඇතුළු දිවිනැගුම ප්‍රජා මූල සමීතියේ සාමාජික සාමාජිකාවන් ඇතුළු ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
යුනිලීවර් සමාගමේ බස්නාහිර පළාත් භාර ප්‍රධාන කළමණාකරු දීපාල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වමින් බ්‍රාහ්මණගම ග්‍රාම නිලධාරී වසමේ සෞභාග්‍යා ව්‍යවසායිකාව වන කේ.කේ.ඉන්ද්‍රානි මහත්මිය 2006 වසරේ සිට සෞභාග්‍යා අලෙවි වැඩසටහනට සම්බන්ධවී සාර්ථක ව්‍යවසායිකාවක් ලෙස සාර්ථක අලෙවියක් කරන සෞභාග්‍යා වැඩසටහනේ සියළුම වැඩසටහන් සදහා ක්‍රියාකාරීවම දායක වන කාන්තාවක් නිසා ඇයගේ ඉල්ලීම පරිදි ‘ගමට අපි‘ ව්‍යාපෘතිය යටතේ මෙම පොදු නාන ළිද ප්‍රතිසංස්කරණය සදහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදුන් බව සදහන් කරන ලදී.









සෞභාග්‍යා වැඩසටහන තුලින් කේ.කේ. ඉන්ද්‍රානි මහත්මියගේ පුතා පහ වසර ශිෂ්‍යත්වය සමත්වීම වෙනුවෙන් ශිෂ්‍යත්ව ආධාරද වාර්ෂිකවම නව පාසැල් වාරය වෙනුවෙන් පාසැල් උපකරණද ලැබෙන බවද ඇගේ ඉල්ලීමකට මෙවැනි ව්‍යාපෘතියක් ගම තුල ක්‍රියාත්මක කිරීමට හැකිවීම පිළිබදව සතුටු වන බව ඉන්ද්‍රානි මහත්මිය ස්තූති කතාව පවත්වමින් සදහන් කල අතර සමෘද්ධි වැඩසටහනට සම්බන්ධවූ නිසා ඇයට මෙම සියළු වරප්‍රසාදයක්ම ලැබුණ බව හදපිරි සතුටින් ප්‍රකාශ කළාය.

වාර්තා කිරීම   -   සමෘද්ධි සන්නිවේදක හෝමාගම, චමිලා ජයතුංග මිය.

සකස් කිරීම    -   සහකාර අධ්‍යක්ෂ කොළඹ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය    -   කොළඹ දිස්ත්‍රික් අධ්‍යක්ෂ, ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

මත්තේගොඩ ප්‍රජා මූල සමෘද්ධි බැංකුවෙහි සංවත්සරය දා....

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මත්තේගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ සංවත්සර උත්සවය 2018.03.22 දින මත්තේගොඩ බටහිර සණස ශාලාවේදී හෝමාගම වැඩබලන ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මියගේ ප්‍රධානත්වයෙන්  ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.
මත්තේගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකුවට අයත් ග්‍රාම නිලධාරී වසම් 17 තුලින්ම තෝරා ගන්නා ලදී. 2017 වසර තුල සාමාජික තැන්පතු, කොටස්, සාමාජික නොවන, ළමා, දිරිය මාතා සමූහ, සිසුරක වැඩිම තැන්පතු ඇති තැන්පත් කරුවන් සදහා ත්‍යාග පිරිනැමීම, හොඳම කුඩා කණ්ඩායම හා සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන නියෝජනය කරන පාලක මණ්ඩල සභාපතිවරුන් ද වැඩිම අවුරුදු ගණුදෙනු , දුම්වැටි විරෝධී කොඩි අලෙවි වැඩසටහනින් වැඩිම ආදායමක් උපයන ලද නිලධාරීන්ද ඇගයීමට ලක්කල අතර හොදම නිලධාරීන් පස්දෙනා සදහා සහතික පත් හා කුසලතා සම්මාන ප්‍රාදේශීය ලේකම් බුද්ධි තරංගා කරුණාසේන මහත්මියගේ සුරතින් පිරිනමන ලදී.  
මෙම උත්සව අවස්ථාවට මූලස්ථාන දිවිනැගුම කලමණාකරු ප්‍රියන්ති ගුණවර්ධන මහත්මිය, සමෘද්ධි බැංකු සමීති කළමණාකරු ටී.ජී.ශ්‍රියානි මහත්මිය, පොල්ගස්ඕවිට සමෘද්ධි ප්‍රජා මූල බැංකු කළමණාකරු පී.වේවැල්වල මහත්මිය, සමාජ සංවර්ධන සහකාර කාන්තිකා හුලත්දූව මෙනවිය, චමිලා ජයතුංග මහත්මිය හා පොල්ගස්ඕවිට සමෘද්ධි ප්‍රජා මූල බැංකුවෙහි ගිණුම් ලිපිකරු සන්ධ්‍යා රාජපක්ෂ මහත්මිය මත්තේගොඩ කලාපයට අයත් ග්‍රාම නිලධාරී වසම්හි පාලක මණ්ඩල නිලධාරීන් ප්‍රජා මූල සංවිධානයන්හි සාමාජික මහත්ම මහත්මීන් මෙම උත්සව අවස්ථාවට එක්වූහ.
සංවත්සර උත්සවය සමෘද්ධි කැකුළු ළමා සමාජ දරු දැරියන්ගේ විශේෂාංග වලින් අලංකාර කෙරිණ.
මත්තේගොඩ සමෘද්ධි ප්‍රජා මූල බැංකු කලමණාකරු සමන්ත ප්‍රේමසිරි මහතා, ඇතුළු බැංකු හා ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය ‍විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණී.






















































වාර්තා කිරීම   -  හෝමාගම සමෘද්ධි සන්නිවේදක, චමිලා ජයතුංග මහත්මිය.

සකස් කිරීම    -  සහකර අධ්‍යක්ෂ කොළඹ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය    -  දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කොළඹ, ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.

Wednesday, March 21, 2018

“දියුණුවේ මංපෙත් - හෙලි කරයි ඇය සවිමත්“

“දියුණුවේ මංපෙත්  - හෙලි කරයි ඇය සවිමත්“  මෙවර ජගත් කාන්තා දිනය තේමා පාඨය ඇය වෙනුවෙන්ම  නිර්මාණය වූවක්ද?



අමිතා මහත්මිය.

තම ස්වාමි පුරුෂයා කරන ලද රැකියාව අහිමිවීමත් සමග ඔහු විවිධ රැකියාවල් කරමින් පවුලේ ආර්ථික සටන ගෙන යන මොහොතක එම ජීවන ආර්ථිකය සවිමත් කරන්නට ඇයද බර කරට ගනිමින් සුළුවෙන් මැහුම් කර්මාන්තය ආරම්භ කර මේ වන විට තම මැහුම් ව්‍යාපාරය ඉතා දියුණු මට්ටමකට රැගෙන ආ  ඇය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීගොඩ සමෘද්ධි කලාපයේ ඕවිටිගම ග්‍රාම නිලධාරී වසමේ මීගොඩ, ඕවිටිගම, කජුගහයටදෙනිය අංක 231/ඒ නිවසෙහි පදිංචි ඩබ්ලිව්. අමිතා කුමාරි මහත්මියයි.

“අමිතා මහත්මිය ඈ ජීවන ගමන් මග ජයගත් ආකාරය සතුටු කදුලින් යුතුව මෙසේ අදහස් දැක්වීය. කුඩා නිවසක ස්වාමි පුරුෂයා දියණියන් දෙදෙනා සමග ජීවත් වූ ඇය සමෘද්ධි වැඩසටහනට 2003 වර්ෂයේදී සම්බන්ධවී රු 750/= සහනාධාරලාභී පවුලක් ලෙස සමෘද්ධි බැංකුවට සම්බන්ධ වූවා. පළමුවෙන් රෙදි අරගෙන කාන්තා ඇදුම් මහන්න ආරම්භ කලා. සමෘද්ධි බැංකුවේ කළමණාකාර තුමා අපේ නිවසට පැමිණ මැහුම් ව්‍යාපාරය බලා පළමුවෙන්ම මට රුපියල් 5000/= ‘ජනපුබුදු‘ ණයක් ලබාදුන්නා. එම ණය මුදලත් යොදවාගෙන මගේ මැහුම් ව්‍යාපාරය තවත් දියුණු කර ගත්තා. සමෘද්ධි බැංකුවෙන් ණය පියවරෙන් පියවර ලබාගෙන උපරිම මුදල වන රුපියල් ලක්ෂ පහේ ණය මුදලද ලබාගත්තා. සමෘද්ධි බැංකු රු.70,000/=  ණය මුදලින් පැට්ලොක් මැෂිමක් ලබාගත්තා.“

නිමි ඇදුමට අවශ්‍ය එම්බ්‍රොයිඩර් නිර්මාණ පිට ආයතන මගීන් සිදුකරගෙන කාන්තා ඇදුම් මැසීම පළමුවෙන්ම කලත් ඒ සදහා ලොකු වියදමක් යන නිසා නවීන තාක්ෂනයෙන් යුතු එම්බ්‍රොයිඩර් මැෂිමක් මිළදී ගෙන එම්බ්‍රොයිඩර් නිර්මාණ සියල්ලක්ම මේවන විට සිදුකර ගැනීමට හැකිවී ඇත. එම්බ්‍රොයිඩර් නිර්මාණ සදහා අවශ්‍ය නව නිර්මාණ අමිතා මහත්මියගේ දෙවෙනි දියණිය අතින් නිර්මාණය වේ. ඇයගේ දෙවන දියණිය මේ වනවිට මැහුම් ව්‍යාපාරයට අවශ්‍ය නවීන තාක්ෂනය යොදා ගැනීම සම්බන්ධව උසස් අධ්‍යාපනය හදාරයි. අමිතා මහත්මියගේ වැඩිමහල් දියණියද ඇයගේ මැහුම් ව්‍යාපාරයට සම්බන්ධ වී සිටී.

තම නිවසේ සේවකයින් තිදෙනෙක් සේවය කරන අතර තමන්ගෙන් කපන ලද ඇදුම් තම නිවෙස් වලට  රැගෙන ගොස් මසන පහලොස් දෙනෙකු සිටින ( 15) බවත් ඒ අය අතුරින් වැඩි පිරිසක් සමෘද්ධි ප්‍රජාමූල සවිධානයේ සාමාජිකාවන් වේ. එම සාමාජිකාවන් ද එක් අයෙකු මසකට රුපියල් 30,000/= ක පමණ ආදායමක්  ලබාගනී.

මේවන විට තම ස්වාම් පුරුෂයාද ඇයගේ මැහුම් ව්‍යාපාරයට සහාය දෙමින් මහරගම වෙළද සැලක් පවත්වාගෙන යමින් නිමි ඇදුම් අලෙවි කර අමිතා මහත්මියගේ මැහුම් ව්‍යාපාරය දියුණු කර ගැනීමට යෝධ ශක්තියක් වී ඇත. 

සමෘද්ධි සහනාධාරය සිය කැමැත්තෙන් 2006 වසරේදී ආපසු ලබාදුන් ඇය තම  මැහුම් ව්‍යාපාරය ශක්තිමත් කරගැනීමට  දිරිය දෙන දිවිනැගුම සංවර්ධන නිලධාරිණී  චන්ද්‍රිකා සමන්මලී මහත්මිය හා මීගොඩ සමෘද්ධි බැංකුවේ කළමණාකාර තුමා ඇතූළු කාර්යය මණ්ඩලය  නිහතමානීව කෘතවේදීව සිහිපත් කලාය. සමෘද්ධි බැංකුව හරහා රුපියල් ලක්ෂ පහෙන් ඉහලට ණය මුලක් ලබාගෙන ඇයගේ මැහුම් ව්‍යාපාරය  තව දියුණු කර ගැනීමට ඇයගේ එකම අරමූණ බවද  සදහන් කළාය.












වාර්තා කිරීම -  සමෘද්ධි සන්නිවේදක හෝමාගම, චමිලා ජයතුංග මිය.

සකස් කිරීම  -  සහකාර අධ්‍යක්ෂ කොළඹ, ෆීලික්ස් ප්‍රනාන්දු.

අධීක්ෂණය  -  දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ කොළඹ, ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා.